May 10, 2011

student monk -‘ශිෂ්‍ය භික්‍ෂුවගේ මරණයට ආණ්ඩුව වගකිව යුතුයි’

අනුරාධපුර බුද්ධ ශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍ය භික්ෂුවක් සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සියදිවි නසාගැනීමක් නොව ආණ්ඩුව විසින් ශිෂ්‍ය මර්ධනය සිදු කිරීමට මානසිකව යොදන පීඩන හා  බලහත්කාරකම්වල තරම පෙන්වන්නක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පවසයි.

ආණ්ඩුවේ සිසු මර්දනකාරී කි‍්‍රයා ශිෂ්‍ය දේශපාලනයේ නිරත සිසු නායකයන්ට දරාගැනීමට හැකිවුවත්, සාමාන්‍ය සිසුන්ට එය බලවත් සිත් තැවුල් ඇති කරන්නක් බවත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.

සියදිවි නසාගත් කටුකෙන්දේ සිරි සුනන්ද හිමියන් දේශපාලන ක‍්‍රියාකාරිකයෙකු ඉතා උවමනාවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවූ ශිෂ්‍ය භික්ෂුවක් බවද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවේ වැරදි විමර්ශන හා පරීක්‍ෂණ හේතුවෙන් සිදුවූ මේ මරණයේ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

අදාළ ශිෂ්‍ය භික්ෂුව වස පානයකර උන්වහන්සේ නවාතැන් ගෙන සිටි අනුරාධපුර, සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයේ සිය කුටිය තුළ දීම ඊයේ (09* සිය දිවි හානි කර ගෙන තිබිනි.
ඊයේ (09) උදෑසන හීල් දානය වැළඳීම සඳහා මෙම භික්ෂුව නොපැමිණි බැවින් එහි වැඩ වසන අනෙකුත් භික්ෂූන් වහන්සේලා සිදු කළ සොයා බැලීමක දී කුටිය තුළ උන්වහන්සේ අපවත් වී සිටිනු දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබේ.

පොලිසිය සිදු කළ පරීක්ෂණ වල දී උන්වහන්සේ සිය දිවි හානි කර ගැනීමට පෙර අභ්‍යාස පොතක පිටු තුනක ලියා තිබූ ලිපියක් හමු වී ඇති බව පොලිසිය ප‍්‍රකාශ කරනු ලැබීය.

උද්ඝෝෂණවලට, පිකටින්වලට සහභාගී නොවූ තමන්ට ලැබුණු තෑග්ග විභාග ප‍්‍රතිඵල අත්හිටුවීම යැයි එම ලිපියේ ලියා තිබූ බව පොලිසිය පැවසීය.

නොකළ වරදකට තමන්ට දඩුවම් විදීමට සිදුවීම ගැන කළකිරීමෙන් අවසන් ලිපිය ලියා මෙසේ සිය දිවි හානි කර ගන්නට ඇති බව පොලිසිය සැක පළ කර ඇත.

නවක වදය සිද්ධියක් සම්බන්ධයෙන් බුද්ධ ශ‍්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ විභාග ප‍්‍රතිඵල අත්හිටුවා ඇති දෙවන වසරේ ශිෂ්‍ය භික්ෂූන් 33 දෙනා අතර සිය දිවි හානි කර ගත් මෙම භික්ෂූන් වහන්සේගේ නම ද ඇතුළත්ව තිබේ.

 

Related Posts Plugin for WordPress, Blogger...