May 11, 2011

Film Actor-මට උගුල් අටවපු සියලුම අයගේ නම් ගම් ඉදිරියේදි එළිවෙවි - රංජන්


තමාට උගුල් අටවපු සියලුම අයගේ නම් ගම් ඉදිරියේදි එළිදරව් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප‍්‍රකාශ කරයි. ඔහු මෙම කාරණා සඳහන් කරනු ලැබුවේ අද (11) පෙරවරුවේදි පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී  අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.

‘ඇත්තටම මට එරෙහිව පවරා ඇති නඩුව පිටුපස ඇත්තේ දේශපාලන පලිගැනීමක්. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට තමුන්නාන්සෙලා කවුරුත් දන්නවා අද ලංකාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට රාජ්‍ය මාධ්‍ය රජයේ ආණ්ඩුවේ අය ක්‍රියාකරන පිළිවෙත. ආණ්ඩුවේ සියලුම සහයෝගය මත මේ අටවපු උගුලේ නියම තිරකතා රචකයා ස්ටෝරිස් රයිටර්, ඩිරෙක්ටර් ඒ කියන්නේ මේ මට හදපු නඩුවේ කතාව දෙබස් තිර රචනය සහ මේක පිටුපස මේකට මුදල් යොදවපු ඇමතිවරු ඉන්නවා මන්ත්‍රීවරු ඉන්නවා. ඒ සියලුම අයගේ නම් ගම් ඉදිරියේදි එළිවෙයි.’
කෙසේ වුවද, රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති විශ්වාසය කඩකිරීමේ සහ රුපියල් ලක්ෂ 10ක් ලබාගැනීමේ නඩුව අද මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදි වැඩබලවන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා හමුවේ කැඳවනු ලැබිණි. පොලීසිය මෙම නඩුව පවරා තිබෙන්නේ පැමිණිලිකාරියවන කටුගස්තොට ප්‍රදේශයේ ගුරුවරිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුවය.

එම පැමිණිල්ලේ සදහන් වී තිබුණේ විවාහ කරගන්නා බව පවසමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් රංජන් රාමනායක මහතා ලබාගත් බවය. එම නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාරිය අධිකරණයට පැමිණි නොසිටි අතර ජූනි 23වන දින අධීකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇයට අද නොතීසි නිකුත් කෙරිණි.

නඩුව යළි ජුනි 23වන දින කැඳවීමට නියමිතය.
Related Posts Plugin for WordPress, Blogger...