December 6, 2010

‘‘ජනපති අත්විඳි ලන්ඩන් සිදුවීම් සමස්ත රටටම නින්දාවක්’’

පසුගියදා බි‍්‍රතාන්‍යයේ සිදුකල තම සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත්විඳි සිදුවීම් හේතුවෙන් ශී‍්‍ර ලාංකික පුරවැසියන් ඉතා අසීරු හා සිත් චංචල කරවන තත්ත්වයකට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රාජපක්‍ෂ මහතා බි‍්‍රතාන්‍යයට පා තැබූ අවස්ථාවේ සිටම ඔහුට විවිධ විරෝධතාවන්ට මුහුණ පෑමට සිදුවූ බව පෙන්වා දෙන එජාප නියෝජ්‍ය නායකයා, එම සිදුවීම් මෙරට ජනතාවගේ සිත්සතන් තුලට හා ධෛර්යට දැඩි බලපෑමක් සිදුකර ඇති බව කියා සිටී.

රටක නායකයෙකුට මදිපුංචිකමක් සිදුවනවා යනු සමස්ත රටම පහත් කොට දැක්වීමක් බව ජයසූරිය මහතා අවධාරණය කර සිටී.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මුහුණදුන් කණගාටුදායක හා නින්දාසහගත තත්ත්වයට හේතුව ආණ්ඩුවේ උඩඟු හැසිරීම බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා කියා සිටී.

මානව හිමිකම් කඩවීම්, දේශපාලන විරුද්ධවාදීන්, නිදහස් අදහස් හා මාධ්‍යය මර්දනය වැනි චෝදනා දිගින් දිගටම එල්ල වද්දී ආණ්ඩුව ආසියාවේ රටවල් සමග සබඳතා පමණක් තරකරගනිමින්, බටහිර රටවල් හා ජගත් සංවිධානය වැනි ආයතනවලට එරෙහිව ගොස් ඇති බව ඔහු දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දක්වමින් පවසයි.

ජාත්‍යන්තරයෙන් එවැනි චෝදනා එල්ලවීමට අප රටේ ආණ්ඩුව සිදුකර ඇත්තේ හෝ සිදු කර නොමැත්තේ හෝ මොනවාද යන්න පිළිබඳව ආවර්ජනයක් සිදුකිරීම අවශ්‍ය බව එජාප නියෝජ්‍ය නායකයා කියා සිටී.

රටේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයට ද තිබෙන තම වගකීම් මොනවාද යන්න සලකා බලා, රාජ්‍ය පාලනය සැහැල්ලූවට ගෙන කි‍්‍රයා කිරීමෙන් වලකින ලෙසට ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
Related Posts Plugin for WordPress, Blogger...